ලුම්බිණිය – දැදිගම කොටවෙහෙර

අරියකම්මට්ඨාන සංවිධානය සිදු කළ දීර්ඝ ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස අපේ බෝසත් සිදත කුමරුන් උපන් පූජනීය ස්ථානය නිවැරදිව සොයාගැනීමට අප සමත් විය. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නෙලුම්දෙණිය නම් ප්‍රදේශයේ දැදිගම කොටවෙහෙර (සූතිඝර චේතිය) නමින් ප්‍රසිද්ධ ස්ථානයයි. මෙම කරුණු ඔප්පු කිරීම සඳහා සාක්ෂි සාධක බොහෝ ප්‍රමාණයක් ඇත.

කෙසේ වෙතත් යටත්විජිත පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙම ස්ථානය වර්තමානයේ හඳුන්වන්නේ පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය ලෙසිනි. එහෙත් පරාක්‍රමබාහු මහරජ ඉපිද ඇත්තේ සිංහපුරයේ බව එම රජතුමා විසින්ම කරන්නට යෙදුණු සෙල්ලිපිවල පැහැදිළිව සඳහන්කොට ඇත. එබැවින් මෙම පරාක්‍රමබාහු වෘතාන්තය බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් විසින් ගොතන ලද තවත් එක් විකෘතියක් පමණක් බව සනාථ වේ.

සිරි සම්බෝධිය – බෝමලුව පලාගල

අපේ ගොතම සමණ බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබූ සිරි සම්බෝධින් වහන්සේ දීර්ඝ කලක් වනගතව බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් විසින් විකෘති කළ ඓතිහාසික තොරතුරු හමුවේ වසන්ව පැවතුණ ද අප සංවිධානයේ ගවේෂණ තුළින් නිවැරදිව සොයාගෙන ආරක්ෂා කර ඇත. මෙම කරුණ සනාථ කරගැනීම සඳහා සාක්ෂි සාධක විශාල ප්‍රමාණයක් අරියකම්මට්ඨාන සංවිධානය සතුව ඇත.

බ්‍රිතාන්‍යයන් විසින් උරුලැව ලෙස නම විකෘති කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ආඬියාගල ග්‍රාම සේවා වසමේ උරුවෙල් දනව්වේ බෝමලුව සහ එහි වැඩවසන බෝධීන් වහන්සේලා අදටත් ඔබට වන්දනාමාන කළ හැක. මේ මහා පිංබිම ආරක්ෂා කිරීම අරියකම්මට්ඨාන සංවිධානය විසින් ස්වේච්ඡාවෙන් කරගෙන යනු ලබයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉසිපතනය මිගදාය

අපේ ‍ගොතම සමණ බුදුන්වහන්සේ පළමු දහම් දෙසුම පැවැත්වූ ඉසිපතන මිගදායේ නිවැරදි පිහිටීම සොයාගැනීමේ ගවේෂණ කටයුතු අප සංවිධානය විසින් අවසන් කොට නොමැත. එහෙත් එම ස්ථානයේ පිහිටීම දළ වශයෙන් විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම මහා පිං බිමත් වයඹ පළාතේ ඉබ්බාගමුව, මාවතගම, රඹුක්කන ප්‍රදේශයේ පිහිටා ඇති බව අප විසින් අනුමාන කරගෙන ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුසිනාරාව

අපේ ගොතම සමණ බුදුපියාණන් වහන්සේ පරිනිබ්බානයට පත් වූ පූජනීය ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වර්තමානයේ අවුකන සහ විජිතපුර වශයෙන් හඳුන්වන ප්‍රදේශය බව අප හඳුනාගෙන ඇත. නමුත් එම ප්‍රදේශය තුළ පවතින විශාල නටඹුන් ප්‍රමාණය නිසා නිශ්චිතවම පරිනිබ්බාන මඤ්චකය තිබෙන ස්ථානය සොයාගැනීමට විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් අවශ්‍ය වේ. ඒ සඳහා ද අප සංවිධානය කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.