බෝධිය සුරකිමු

සිරි සම්බෝධිය අවට මහ පොලොව සුවපත් කර ‘සිරි සම්බෝධිය’ සුවපත් කරන ‘බෝමළුව හෙළගම’

‘බෝමළුව හෙළ ගම’ බිහි වෙන්නේ උරුවෙල බෝමළුව පිහිටි ‘සිරි සම්බෝධියට’ දිර්ඝායුෂ පතා බෝධින්වහන්සේ වැඩ වසන බෝමළුව ප්‍රදේශයේ මහ පොලොව සුවපත් කර, ඒ අවට ජල මූලාශ්‍ර පිරිසිදු කර ප්‍රකෘතිමත් කිරීමටය. ඒ මගින් බෝධීන් වහන්සේට චිරාත් කාලයක් නිරෝගීව වැඩ විසීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම මෙහි අරමුනයි.

මේ වන විට බටහිර වෙළඳ උගුලකට අසු වී ලංකාවේ ගොවියා කර ඇති කෘෂි රසායන භාවිතය නිසා සමස්ත ලංකාවේ මෙන්ම ‘සිරි සම්බෝධිය’ අවට මහපොළොවත් දැන් විෂ වී හමාරය. මේ නිසා ලංකාවේ මනුෂ්‍යයින්, සතා සීපාවා මෙන්ම ගහ කොලත් රෝගී වී ඇත. වැව් බැඳි රජරට ගොවියා, වකුගඩු රෝගවලින්, පිළිකා වැනි බෝනොවන රෝග වලින් රෝගී ඇතිවා සේම, බෝධීන් වහන්සේලා ඇතුළු ශාඛ පද්ධතියත් දැන් රෝගී වී ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස ‘සිරි සම්බෝධියත්’ මේ වන විට රෝගී වී ඇත. ඒ නිසා සිරි සම්බෝධියට දීර්ඝායු පතා උන්වහන්සේ සුවපත් කිරීම අපගේ ප්‍රථම කාර්යයි. බෝධීන් වහන්සේලා වටේ රන් වැටවල්, ලියවැල්, මුරගල් තනන්නට පෙර බෝධීන් වහන්සේ වැඩවසන අවට පරිසරය සහ මහා පොළොව සුවපත් කිරීම ප්‍රථමයෙන් කළ යුතු බව අප හඳුනාගෙන ඇත. මේ සඳහා විසඳුමක් ලෙස බෝමළුව අවට ප්‍රදේශය වස විසෙන්, පොලිතින් සහ ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා අපි ‘බෝමළුව හෙළගම’ බිහි කීරීමේ අරමුනයි. මේ හෙළ ගම ඇති කිරීමේ මුලික අඩිතාලම දැනටමත් ආරම්භ කර ඇත.

මේ ක්‍රියාදාමය පියවර කීපයකින් ඉටු කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පලමු පියවර ලෙස බෝධීන් වහන්සේ අවට වර්ග කිලෝමීටර් 10 ප්‍රමාණයක, රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක නොයොදන සහ ප්ලාස්ටික් පොලිතීන් භාවිතයෙන් තොර කලාපයක් කිරීමට කටයුතු යොදා ඇත. තවද අවට වැව් සහ ඇල වේලි පිළිසකර කර, ඒවායේ ජලයේ විෂ ඉවත් කළ හැකි ජල පෙරන ජලජ ශාඛා රෝපණය කිරීමත්, මහ පොලොව නැවත ප්‍රකෘතිමත් කරන ක්ෂුද්‍ර ජීවින් බෝ කිරීමත් කිරීමට නියමිතය.

ඉදිරි පියවරවල් ලෙස ඉහත වර්ග කිලෝමීටර් 10 ප්‍රමාණය ක්‍රමයෙන් වර්ග කිලෝමීටර් 25, 50 යනාදී වශයෙන් පුළුල් කිරීම මෙහි අරමුණ වේ. මේ අනුව ප්‍රදේශයේ ගොවියන් වස විසෙන් තොර ගොවිතැනට උද්යෝගිමත් කිරීමත්, රසායනික යෙදවුම් වලින් තොරව වගා කළ හැකි වී සහ එළවලු බීජ ගැමියන්ට නොමිලයේ ලබාදීමත් සහ කන්නෙට, කරනෙට, කයියට ගොවිතැන් කරන අපේ පාරම්පරික ක්‍රමවේදයන් ගැමියන්ට හදුන්වා දීමත් දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කිරීමට අප සැලසුම් යොදා ඇත.