බෝමලුව හෙළගම යනු එදා නේරංජනා නම් වූ ද, වර්තමානයේ හවන්ඇල්ල ඔය නමින් හැඳින්වෙන නදී තොමෝ අසබඩ පිහිටි, අනන්ත අප්‍රමාණ බුදුවරුන්ගේ පා පහසින් පාරිශුද්ධ වූ භූමි භාගය, වසර 4000ට පමණ පෙර ගොතම බුදුන් දවස උරුවෙල නමින් ප්‍රසිද්ධව තිබුණු ගම් දනව්ව, අද මහ උරුලෑව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එදා පැවති පාරම්පරික හෙළ ජීවන විද්‍යාවට පන පොවා මේ ප්‍රදේශයේ පොළොව සහ ස්වභාවික පරිසරය නැවත සුවපත් කරන ව්‍යායාමයයි. බුද්ධ කාලයේ මේ ප්‍රදේශයේ පැවති ස්වභාවික පරිසරය නැවත ආපසු ගෙන ඒම බෝමළුව හෙළගම වාසීන්ගේ එකම අරමුණයි.
මේ මගින් ඇති වන තවත් යහපත් ප්‍රතිපලයක් වන්නේ, එදා හෙළයේ පැවති නිදහස් නිවහල් සරල ජීවන රටාව ලොවේ නිවැරදි පැවැත්මට කෙතරම් වැදගත්ද යන්න මුළු ලොවටම පෙන්වා දීමයි. මෙම අදහසට කිට්ටු ගම්මානයක් Aureville නමින් දකුණු ඉන්දියාවේ දැනට ස්ථාපිත වී ඇතත්, බෝමළුව ගම ඉන් ඔබ්බට ගොස් නිවන අරමුණු කොටගෙන ජීවත් වන යහපත් සමාජයක් බිහි කිරීම පරම අභිලාශය කොට ගෙන ඇත. ඒ සඳහා බුදුන් දවස මේ ප්‍රදේශයේ තිබූ සමාජය, මහ පොලොව, පරිසරය නැවත සුවපත් කිරීම නිවනට පෙර ඇති කරගත යුතු නිවැරදි පැවැත්ම යලි බිහිවීමකි.
හෙළ ජීවන රටාව යනු ස්වභාවධර්මයේ න්‍යායන් සහ රිද්මයන් ඉතා ගැඹුරින් හදුනාගෙන ගොඩනැගුනු ජීවන චින්තනයකි. එය ස්වභාවික සම්පත් අවම ප්‍රමාණයක් පමණක් පරිභෝජනය කරමින් සියලු සත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය පමණක් නොව පරිසරය, ගහ කොලේ පැවැත්මට පවා ගරු කළ අපුරු ජීවන විද්‍යාවකි. ඒ සමාජයේ, එදා රටේ රජතුමා ඇතුළු සියලුම රට වැසියෝ නිෂ්පාදකයන් වූහ. සියලු දෙනා තමන්ට අවශ්‍ය අහාර ද්‍රව්‍ය තමාම නිෂ්පාදනය කර ගත් අතර සමහරුන් අතර අඩු පාඩු වන දේ හුවමාරු කරගන්නා ලදි. මේ ක්‍රමයට සෑම වැසියෙක්ම, සෑම ගමක්ම ස්වයංපොෂිතය. එනිසා අද මෙන් කූඨ වෙළඳපොලක් නොතිබිණි. නිවන් දැකීම තම පරම ජීවිත අපේක්ෂාව කර ගත් මේ සමාජයේ සියල්ල ඉටු වුයේ සමාජ යුතුකමක් සහ වගකීමක් වශයෙනි. ඒ යුතුකම් ඉටුකිරීම සඳහා බලාපොරොත්තු වූ එකම දෙය කුසල් රැස් වීම පමණි. වෙද රාල වෙදකම් කළේත්, ගුරු ගෙදර අකුරු කළෙත්, පන්සලේ දහම් දෙසුවේත් අද මෙන් මුදලට නොව නිවන් මගට කුසල් රැස් කිරීමේ අපේක්ෂාවෙන් පමණි. එනිසා පැරණි හෙළ සමාජයේ එකිනෙකා පරයා යාමට උත්සාහ කරන තරඟයක් නොමැති විය.
මේ මහා ජීවන විද්‍යාවට කන කොකා හැඬුවේ 1505 දීය. ඒ එක අතකින් කුරුසය සහ එක අතකින් කඩුව රැගෙන ආ පළමු බටහිර ආක්‍රමණය නිසාය. පෙරදිග මෙන් පුනරුපත්තිය සහ නිවන ගැන නොදත්, මරණින් පසු ස්වර්ගයට යන බවත්, ලොවේ සියලු සම්පත් බිහි වී ඇත්තේ ඔවුන්ගේ පරිභෝජනයට බව විශ්වාස කළ බටහිර රේඛීය චින්තනයෙන් අන්ධ වී සිටි පෘතුග්‍රීසීන් තම ආධිපත්‍ය අමානුෂික ලෙස ස්ථාපනය කරන්නට ඇරඹීය. ඉන්පසුව කෙමෙන් විනාශයට යමින් තිබු හෙළ ජීවන චින්තනය 1815 න් පටන් ගත් බ්‍රිතාන්‍ය යටත් විජිත රජය විසි වන සියවස වන විට ලොවෙන් අතුගා දමන්නට සමත් විය. මේ ආකාරයට අනාදිමත් කාලයක සිට පෙරදිග රටවල බිහි වී පරිසරය සහ සොබාදහම සමග එකට වෙලී විකාශය වී තිබු ජීවන චක්‍රය බිද වැටී, ඒ වෙනුවට බටහිර දේවධර්මයට අනුව සැකසුන එහෙත් අපේ මහපොළොවට පරිසරයට නොගැලපෙන ආගන්තුක ක්‍රියාන්විතයක් පෙරදිග ස්ථාපිත විය.
බටහිර ජාතින් සිතා සිටියේ මේ නිසා ලොවෙන් අතු ගා දැමුනේ ගෝත්‍රික ජන සමාජයවල වත් පිළිවෙත්, සිරිත් විරිත ගති පැවතුම් බවය, එය එසේ නොවේ, ඔවුන්ගේ අඥාන ක්‍රියාකලාපය නිසා ලොවට අහිමි වුයේ, මුළු මනුෂ්‍ය සංහතියම සතා සීපාවා ගහ කොළ ඇතුළු මුළු ලොවම පාලනය වන ස්වාභාවධර්ම නියාමනයන් පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් යුතුව ඒ සියල්ල සමතුලිතව පාලනය වෙන අයුරින් විවිධ ප්‍රදේශ වලට ගැලපෙන පරිදි ගොඩනගාගෙන තිබු ජීවන විද්‍යාවන්ය.
නොනිත් අශාවෙන් පෙළෙමින් කරන ලද මෙවැනි විනාශයක විපාකය වුයේ, පලමු සහ දෙවන ලෝක යුද්ධය වගේම ලොව පුරා පැතිරුණ වසූරිය වැනි වසංගතයන්ය.
ඊට පසුව ඇති වූ HIV වගේම වර්තමානයේ ඇති වී ඇති COVID 19 වසංගතයත්, දහසය වන සියවසෙන් ආරම්භව අද වන තෙක් මනුෂ්‍යා ගමන් කළ වැරදි ගමනේ ප්‍රතිඵලයකි. හෙළ භාෂාවෙන් මෙයට කියන්නේ කර්ම විපාක කියාය. මෙයට භෞතික ලෝකයෙන් බෙහෙත් සෙවීම, එන්නත් සෙවීම අඥාන ක්‍රියාවකි. මෙයට ඇති එකම පිළියම මෙය ඇතිවීමට හේතුව සොයා ඒ හේතුව ගලවා දැමීමය. අප බුදුන්ගේ ඉගැන්වීමත් එයමය. එසේ නම් මේ අද පවතින මේ වසංගත ව්‍යසනයට මෙන්ම ඉදිරියේදී ඇතිවන මෙවැනි සියලු ව්‍යසනයන්ට ඇති එකම විසඳුම නොනිත් අශාවෙන් තොරව යහපත්ව ජීවත් වීමය. එනම් අප අහිමිකර ගත් අපේ හෙළ ජීවන රටාවට නැවත ආපසු ගමන් කිරීමය.
බෝමලුව හෙළ ගමේ මුදල් ඉපයීමේ හෝ ලාභ ලැබීමේ කිසිදු චේතනාවක් නොමැත. ඒ නිසා මෙම ගමේ මුදලට වටිනාකම නොමැත. ගමේ වැවෙන කිසිම බව භෝගයක් මුදලට විකුනන්නේද නැත. මෙහි වැවෙන බව භෝග අස්වනුවලින් එහි වැසියන්ගේ පරිභෝජනයට වැඩි වන සියලු දේ අවශ්‍ය ගැමියන්ට නොමිලයේ ලබා දේ. බව භෝග ආහාරයට ගන්නා කිසිදු සතකුට හිංසාවක් කිරීම හෝ පලවා හරින්නේද නැත, ඒ අපට මෙන්ම ඔවුන්ටද මේ මහා පොලවේ වැවෙන දේ වලට සමාන අයිතියක් ඇති බව අප පිළිගන්නා මුලධර්මයක් නිසාය.
අරියකම්මට්ඨාන සංවිධානය ‘බෝමළුව හෙළ ගම’ සඳහා මූලික අඩිතාලම දැනටමත් දමා අවසන්. ඒ වෙනුවෙන් උරුවෙල ගම්මානයේ දැනටමත් ඉඩම් කීපයක් වෙන් කරගෙන අවසන්.