පුරාවිද්‍යාවෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක ගවේෂණය

අප සංවිධානය මගින් මේ දක්වා කරන ලද ඉතිහාස කරුණු ගවේෂණවලින්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී එම නිලධාරීන් විසින් මුළු ඉන්දියන් උප මහද්වීපයේම ඉතිහාස විකෘතියක් කොට ඇති බවත් එම විකෘතිය නිසා අවසාන තථාගතයන් වහන්සේලා දේශනා කරන ලද නිබ්බාන මග විකෘති වී ගොස් ඇති බව අද සොයා ගෙන ඇත.

අප සංවිධානයේ විද්වතුන් සහ වෙනත් බොහෝ විද්වතුන් විසින් මේ දක්වා කරන ලද ඉතිහාස කරුණු ගවේෂණවලින්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී එම නිලධාරීන් විසින් මුළු ඉන්දියන් උප මහද්වීපයේම ඉතිහාස විකෘතියක් කොට ඇති බවත් එම විකෘතිය නිසා විශේෂයෙන්ම කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගොතම සමන යන අප අවසාන තථාගතයන් වහන්සේලාගේ සත්‍ය ඉතිහාසගත කරුණු සහ උන් වහන්සේලා දේශනා කරන ලද නිබ්බාන මග විකෘති වී ගොස් ඇති බව අද සොයා ගෙන ඇත. තවද ගොතම සමන තථාගතයන් වහන්සේ, ඊට සමකාලීන වෙනත් ශාස්තෘවරුන් සහ රජවරුන් ජීවත් වූ කාලය පිළිබඳවද බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් හා බටහිර ලේඛකයන් නිර්ණය කර ඇති කාල වකවානු පවා වැරදි බව නොයෙකුත් විද්වතුන් අද සනාථ කර ඇත. එබැවින් බුදුවරුන් සහ උන්වහන්සේලා ජීවත් වූ කාලය පිළිබඳවද, අද භාවිතා කරන සක වර්ෂ, වික්‍රම වර්ෂ සහ සලිවහන වර්ෂ ගණනයද වැරදි බව මේ වනවිට ඉන්දීය විද්වතුන් සහ විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත.

අපටද දැනට පෙනෙන හැටියට, ගොතම සමන අප තථාගතයන් වහන්සේ සහ ඊට සමගාමී රජවරුන් සහ අනෙකුත් ශාස්තෘවරුන් ජීවත් වී ඇත්තේ අප දැනට විශ්වාස කරන කාලයට තවත් අවරුදු එක්දාස් තුන්සීයකට දෙදහසකට පමණ පෙර බව පෙනී යයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කරන ලද අනුමාන මත ගොඩනැගුණු ඉතිහාස කතාව මිථ්‍යාවක් බව අද බොහෝ විද්වතුන් දරන මතය, අපගේ ගවේෂණ වලින්ද තහවුරු වී ඇති හෙයින් ඉහත බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් සිදු කර ඇති ඉතිහාස විකෘතිය ලොවට හෙළි කොට නිවැරදි ඉතිහාස තොරතුරු සනාත කිරීම සඳහා මෙතෙක් කරගෙන ආ පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් ඔබ්බට ගොස්, භූ විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, චන්ද්‍රිකා තාක්ෂණය, භූ ගර්භ ස්කෑන් තාක්ෂණය, තාරකා පිහිටීමේ තොරතරු සහ කාර්බන් පරික්ෂාව ඇසුරෙන් කෙරෙන කාලනිර්ණය යනාදී ලොව නවීනතම විද්‍යාවන් සහ තාක්ෂණයන් භාවිතයෙන් කෙරෙන විද්‍යාත්මක ගවේෂණයක් දියත් කිරීමට අප විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව දැනට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති හෙළ සංස්කෘතියේ හෙළ තථාගතයන් වහන්සේලා, සහ ඊට සමගාමීව එවකට හෙළදිවේ ජිවත් වී ඇති අනෙකුත් ජෛන මුනිවරුන්ගේ, ආජීවක සහ බ්‍රාහ්මණ යනාදී අනෙකුත් සංස්කෘතීන් පිළිබද සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කිරීමට හැකි වනු ඇතැයි බලා පොරොත්තු වේ.

මෙම ගවේෂණය ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ පැරණි සේද මාර්ගය ආවරණය වන ලෙස දියත් කිරීමට සැලසුම් කොට ඇති අතර මෙය ඉන්දීය, ශ්‍රී ලාංකීය සහ යුරෝපා විද්වත් මණ්ඩලයක් මගින් UNESCO වැනි ජාත්‍යන්තර ආයතන වල අධීක්ෂණය යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වේ. දැනටමත් ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර විද්වතුන් සහ විද්වත් ආයතන සමග මුලික සාකච්ඡා ආරම්භ කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විදවතුන්ම, විදේශීය විශ්විද්‍යාල සහ Russian Academy of Science යනාදී ආයතන අපට සහයෝගය දැක්වීමට කැමැත්ත පළකර ඇත.

මේ ගවේෂණය සාර්ථක කරගැනීම සඳහා අපට උපකාර කිරීමට කැමති සියලු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ.