නිවැරදි බුද්ධාවචන ශබ්දකෝෂය

තථාගත වචන සඳහා උපයෝගි කොටගෙන ඇති ශබ්ද ශුද්ධ මාගධී ශබ්ද සංඥා නමින් හැඳින්වෙන අතර එය ලොව සියලු ස්වාභාවික ප්‍රාකෘත භාෂා වල මූල භාෂාව වන ශුද්ධ මාගධී භාෂාවයි.

ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි නිබ්බාන මග අද ලොව වෙසන ජනතාවට තේරුම් ගැනීමට නොහැකි වී ඇති ප්‍රධානතම හේතුව, බුදු හිමියන් කිසිම දිනක තම දහම දේශනා කිරීමට භවිතා නොකළ භෂාවන් වන පාලි සහ සංස්කෘත භාෂා වලින් අද සිටින බෞද්ධයන් විසින් උන්වහන්සේ දේශනා කළ වදාළ නිබ්බාන මග තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. සියලු තථාගතයන් වහන්සේලා නිබ්බාන මග දේශනා කිරීමට විශේෂ වචනාවලියක් භාවිතා කරයි. එය තථාගත වචන නම් වන අතර ඒවා නිර්මාණය කර ඇත්තේ ස්වාභාවික ශබ්ද උපයෝගී කොට ගෙනය. ඒ සඳහා උපයෝගි කොටගෙන ඇති ශබ්ද ශුද්ධ මාගධී ශබ්ද සංඥා නමින් හැඳින්වෙන අතර එය ලොව සියලු ස්වාභාවික ප්‍රාකෘත භාෂා වල මූල භාෂාව වන ශුද්ධ මාගධී භාෂාවයි.

මෙම එක තථාගත වචන ශබ්දයක ඇති අර්ථය තේරුම් කිරීමට අද අප පවතින දෙමුහුන් සිංහල හෝ ඉංග්‍රීසි වැනි භාෂාවලින් වචන කීපයක් හෝ සමහර වචන අර්ථ දැක්වීමට ඡේද ගණනාවක් ලිවීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් බුදු හිමියන්ගේ කාලයෙන් වසර දාහකට පමණ පසුව ඉන්දියාවේ දී බ්‍රාහ්මණ පණ්ඩිතයින් විසින් ශුද්ධ මාගධී ශබ්ද සංඥා වලට සංස්කෘත භාෂාවේ ඊට සමාන ශබ්ද වලට ඇති අර්ථකතන ආදේශ කරමින් හා එයට තවත් ව්‍යාකරණ නිතී ඇතුලත් කරමින්, පාලි නම් අලුත්ම භාෂාවක් නිර්මාණය කර ඇත. මෙම අලුත් භාෂාව නිසා ශුද්ධ මාගධී ශබ්ද සංඥාවලින් ගොඩනැගී තිබු තථාගත වචන වලට වෙනත් අර්ථකතන ආදේශ විය. ඉන්පසුව මෙතෙක් හෙළ භාෂාවෙන් ලියා තිබුණු නිබ්බාන මග, ඉහත අලුතෙන් ගොඩනැගුනු පාලි නම් අලුත් භාෂාවට පරිවර්තනය කරමින් ආචාර්ය බුද්ධඝෝෂ නම් පටන්ජලී යෝගියකු විසින්, ඊට හින්දු සහ පටන්ජලි භාවනා ක්‍රමද ඇතුලත් කරමින්, විසුද්ධිමග්ග, සමන්තපාසාදිකාව යනාදී පොත් ඉහත නව භාෂාවෙන් රචනා කිරීම සහ තවත් එවැනිම හින්දු අචාර්යවරයකු වූ අචාර්ය අනුරුද්ධික නම් යෝගියකු විසින් අභිධම්මත්ථසංගහ නම් පොතක්ද එම අලුත් පාලි භාෂාවෙන් ලියා ඇත. එම පොත් සහ පාලි සහ සංස්කෘත අර්ථකතනයන් නිබ්බාන මග වර්තමානයේ තරම් නැත්තටම නැති වී යන ලෙස වැසී යාමට බලපෑවේ නැත. ඊට හේතුව වුයේ එම පොත් ඒ පොත් ලියපු අයට සහ ඔවුන්ගේ ශිෂ්‍යයන්ට සහ ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට පමණක් සීමා වීමය. ඒවා අද පවතින තත්වයට ප්‍රසිද්ධියට පත්වී සමාජයේ ස්ථාපිත වී මහා ඛේදවාචකයක් බවට පත් වුයේ, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය විසින් ස්ථාපිත කරන්නට යෙදුන ඉංග්‍රීසි පාසල් අධ්‍යාපන ක්‍රමය තුලින් බ්‍රිතාන්‍ය ලේඛක පිරිසක් විසින් ඔවුන්ට නොතේරෙන දහමක් ඉංග්‍රීසියට පරිවර්තනය කර ලොව ව්‍යාප්ත කිරීමට දරන ලද උත්සාහය නිසාය.

ඉංග්‍රීසින් ඉන්දියාවට පැමිණෙන විට, ඉන්දියාවේ තිබු පාලි භාෂාව සහ සංස්කෘත භාෂාව බුදු හාමුදුරුවන් කතා කළ භාෂාවන් ලෙස වරදවා තේරුම් ගත් බ්‍රිතාන්‍ය ජාතිකයින්, ඉහත පාලි පොත්වල සහ වෙනත් ටිබෙට් පොත්වලින් එවකට සංස්කෘතවලට පරිවර්තනය වී තිබු දහම් කොටස් එක් කරමින්, සහ සංස්කෘත සහ පාලි භාෂාවලින් ලංකාවෙන් සොයාගන්න ලද තිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී. තවද පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ද ඔවුන් විසින් නිර්මාණය කොට ඇත. අද ලොව පිළිගන්නේ එම පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය වේ. එම ශබ්දකෝෂය නිසා ශුද්ධ මාගධී ශබ්ද සංඥා වලට වෙනත් අර්ථකතන ලැබී ඇත. ඒ නිසා අද නිබ්බාන මග සම්පූර්ණයෙන්ම සැඟවී ගොස් ඇත. තවද පැවැත්මෙන් ඔබ්බට යන බුද්ධ භාවනා ක්‍රම වෙනුවට ඉහත, පටන්ජලි ආචාර්යවරුන් හදුන්වා දෙන ලද හින්දු භාවනා ක්‍රම අද බුද්ධ භාවනා ලෙස පිළිගෙන ඇත. මේවා වඩන අය අසංඥ වලට ගොස් සසර ගමන තවත් දික් කරගනු ලබයි. ඉංග්‍රීසීන් විසින් ස්ථාපනය කරන ලද අධ්‍යාපන ක්‍රමවේදය තුලින් ඉංග්‍රීසි භාෂාවෙන් එංගලන්තයෙන් එම අලුත් බුද්ධාගම ඉගෙන ගෙන තම මවු රට වලට පැමිණි ආසියාතිකයින් (කළු සුද්දන්) මෙම නව බුද්ධාගම සහ මිථ්‍යා ඉතිහාසය තම මවු රට වල ව්‍යාප්ත කොට අද වෙනතුරුත් පවත්වාගෙන යනු ලබයි. මෙය ඛේදවාචකයකි. නමුත් අද පවතින සත්‍ය තත්වය මෙයයි.

මේ පිළිබද දීර්ඝ අධ්‍යයනයක යෙදුන අප සංවිධානය තීරණය කළේ මේ ගැටලු සහගත තත්වය විසදීමට නම් ශුද්ධ මාගධී ශබ්ද සංඥා, සහ බුදුන් දවස උන්වහන්සේගේ මාතෘ භූමියේ භාවිතා කළ මාගධී භාෂාවට ඉතා කිට්ටු එලු ප්‍රාකෘත භාෂාව නැවත ගොඩනැගීමයි. මෙම භෂා සහ තථාගත වචනවල නිවැරදි අර්ථ දැනගතහොත් ඕනෑම අයකුට නිබ්බාන මග ඉතා පහසුවෙන් දැන ගත හැක.

එබැවින් කැමති අයට එම භාෂා නැවත ඉගෙන ගැනීමට හා භාවිතා කිරීමට උපකාරීවන පරිදි අප විසින්, තථාගත වචන වල නිවැරදි අර්ථය දැක්වෙන අර්ථ කෝෂයක්, සිංහල, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායි සහ බුරුම භාෂා වලින් ප්‍රකාශයට පත් කිරීම, සහ එය අන්තර්ජාල මෘදුකාංගයක් (App) වශයෙන් ඉදිරිපත් කිරීම. එම භාෂා ඉගැන්වීම සඳහා විද්‍යාපීඨයක් සහ විෂය මාලාවක් ගොඩනැගීම යනාදී දේ කිරීමට සැලසුම් කොට ඇත..