සත්‍යය වෙනුවෙන් නැගිටිමු

“Rise Up for Truth – සත්‍යය වෙනුවෙන් නැගිටිමු” – 16 වන සියවසයේ පමණ සිට ලොව ක්‍රියාත්මක වූ රහස්‍ය සංවිධානවල අදෘශ්‍යමාන හස්තයන් විසින් ලොව පාරම්පරික දැනුම් පද්ධතිය විනාශ කිරීම ආරම්භ කළේ නව ලෝක දර්ශනයක් ලොව බිහි කිරීමේ අසාර්ථක සහ පටු සංකල්පයක් පෙරදැරි කරගෙන ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යැයි අප විසින් හඳුන්වන හමුදාවන් විසින් අප මවුබිම ආක්‍රමණය කරන ලදි. අපි ඔවුන් ජාතීන් තුනක් වශයෙන් හැඳින්වුවත් ඒවා එකම අදෘෂ්‍යමාන හස්තයක් මගින් ක්‍රියාත්මක වූ එකිනෙකට සම්බන්ධ එකම බලවේගයක් බව අප දැන් සොයාගෙන අවසන්.

18 වන සියවසයේ බ්‍රිතාන්‍ය East Indian සමාගම ලෙස අප රටේ අයිතිය ඊට පෙර පැවති Dutch East Indian සමාගෙන් පවරාගත් ඉහත සඳහන් කළ අදෘශ්‍යමාන හස්තයේ බළල් අතක් පමණි. මානසික ව්‍යාධියකින් පෙළුණු මෙම අදෘශ්‍යමාන හස්තය ඒ වන විට බ්‍රිතාන්‍යය රජ කිරුළත් කුමන්ත්‍රණකාරීව පැහැරගෙන බ්‍රිතාන්‍ය කිරීටයේ නාමය භාවිතා කරමින් ලෝකය බිහි වුණා දා සිට පැවති මහා පාරම්පරික දැනුම් පද්ධති විනාශ කොට දමන්නට පිඹුරුපත් සැකසුවේ හිත් පිත් නැති තිරිසනුන් මෙනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1833 ස්ථාපිත කළ කෝල්බෘෘක් කැමරන් කොමිෂන් සභාව මගින් ගෙන ආ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ඉන්දියන් උප මහද්වීපයේ ම පාරම්පරික දැනුම, ඉතිහාස තොරතුරු, සංස්කෘතිය, ස්වයංපෝෂිත ජීවන රටාව ක්‍රමයෙන් විනාශ වී මේ වන විට ලොවෙන් සත්‍ය වසන් වී ඇත. ඒ විනාශ වීම තුළ බෞද්ධ, හින්දු, ජෛන, ක්‍රිස්තියානි යනාදී සියලු ආගම්වල මූලාශ්‍ර වෙනස් කිරීම සහ එම දහම්වලට සහ ඒවායේ ශාස්තෘවරුන්ගේ ඉතිහාස තොරතුරු සම්පූර්ණයෙන් ම විකෘති කොට ඒවා වෙනුවට මේ මානසික ව්‍යාධී පිරිස නිර්මාණය කරන ලද තොරතුරු ආදේශ කිරීම සිදු විය. ඔවුන් විසින්ම ස්ථාපිත කරන්නට යෙදුණු පාසල් සහ විශ්වවිද්‍යාල මගින් මෙම ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සිදු කළ අතර එම ක්‍රියාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මෙම අධ්‍යාපන ක්‍රමවේදයම වර්තමානයේත් භාවිතා කරන බව අද නොරහසකි.

මෙම අපරාධය නිසා අප රටේ මෙන්ම අප මෙන් මෙම යටත් විජිත කෘෘරත්වයට යටත් වූ රටවල වර්තමාන සමාජය මහත් වූ අසහනය, අසාර්ථකත්වය සහ හීනමානය යනාදී මානසික ව්‍යාධීන්ට පත්ව ඇත. ඊට හේතු වී ඇත්තේ මෙම තොරතුරු විකෘති කොට පසුව ව්‍යාජව නිර්මාණය කරන තොරතුරු ආදේශ කිරීම නිසාවෙනි. මේ හේතුව නිසා අප රටේ මෙන්ම අප වැනි ඉහත කී රටවල නිවැරදි ජාතික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ උරුමයෙන් බැහැර වී තිබේ. තමන් කවුදැයි ඔවුන් නොදනී. මේ ආකාරයෙන්ම වර්තමානයේ සිංහල ලෙසින් හඳුන්වාගන්නා ජනවර්ගයේද සත්‍ය අනන්‍යතාවය ඔවුන් නොදනී. අප විසින් සොයාගෙන ඇති පරිදි සීහෙළයා යනු ආභස්සර බඹ ලොව සිට මෙම පොළොවට ජීවින් පැමිණි දා සිට, ඒ මුල් ජනාවාස ප්‍රදේශයේම අනන්ත අප්‍රමාණ වූ කාල වකවානුවක සිට ජීවත් වන ආදිතම වාසී ජන කොටසකි. තම මූලාරම්භක ජනාවාසයේ පෘථිවි ජීවය ආරම්භයේ සිට අද තෙක් ජීවත් වන මේ ආදිවාසී මිනිසා ඉහත ඉතිහාස විකෘතිය නිසා තම අතීතය ද, තම ආදිවාසී අනන්‍යතාවය අද නොහඳුනයි. එයට හේතු වී ඇත්තේ ඉහත කී අදෘෂ්‍යමාන මානසික ව්‍යාධී කල්ලිය විසින් ඒ මහා ආදිවාසියාගේ ජාතික අනන්‍යතාවය ඔවුන්ගේ උරුමයෙන් බලෙන් බැහැර කර තිබීමයි. මේ ආකාරයෙන්ම ලොව බොහෝ රටවල ස්වදේශීය ජනතාවගේ නිවැරදි ආදිවාසී අනන්‍යතාවය මෙසේ ඔවුන්ගේ උරුමයෙන් බැහැර කර ඇත. හිතාමතාම මෙසේ කටයුතු කොට ඇත්තේ මෙම ජන කොටස් ලොවෙන් අතුගා දැමීමේ කූඨ අරමුණකින් බව ඉතා පැහැදිළියි. මෙය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි.

අපේ සංවිධානයේ එකම අභිලාෂය වී ඇත්තේ 16 වන සියවසයෙන් ආරම්භ වී අද වන තුරු නොකඩවා පවත්වාගෙන යන මෙම අසත්‍යය ලොවට හෙළි කර සත්‍යය නැවත ස්ථාපිත කර පෙන්වීමයි. මේ සඳහා ලොව මෙතෙක් සිදු වූ මේ ලොව විශාලතම මනුෂ්‍යත්වයට විරුද්ධ අපරාධය, ලොවට හෙළි කර, අපේ මුතුන් මිත්තන්ගේ සත්‍ය ඉතිහාස තොරතුරු ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් භාවිතා කරමින් නැවත ලොව ස්ථාපිත කරන්නටත් ඒ මගින් සීහෙළ ජන කොටසේ ආදිවාසී අනන්‍යතාවය නැවත ලොව ස්ථාපිත කරන්නටත් “Rise Up for Truth – සත්‍යය වෙනුවෙන් නැගිටිමු” නම් ව්‍යාපෘතිය පෙළගැස්වූ ඔබ සැමට මෙයින් දැනුම් දෙමු. මෙම ජාතික මෙහෙවරට, ඔබේ යුතුකම ඉටු කරන්නට අප සමග පෙළ ගැසෙන ලෙස සත්‍යවාදී සියලු දෙනාට, අපි මෙයින් ආරාධනය කරමු.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පියවර වන්නේ ලොව දැනුමේ කේන්ද්‍රය වූ දඹදිව නිවැරදි පිහිටීම සහ එහි ඉපිද ජීවත් වූ සර්‍වඥ තථාගතයන් වහන්සේලා, තීතංකරවරු, මහා මුනිවරු, ඍෂිවරු පිළිබඳ සත්‍ය තොරතුරු විද්‍යාත්මකව ගවේෂණය කර ජාත්‍යන්තරව පිළිගැනෙන පරිදි නීත්‍යානුකූල ලෙස ලොවට සනාථ කිරීමයි. එනම් දඹදිව යනු ඉන්දියාවේ පිහිටි ප්‍රදේශයක් නොව, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් බව සාක්ෂි සාධක ඇතිව පෙන්වා දීමයි. එමගින් සීහෙළ ජන වර්ගයේ ආදිතම වාසී ජාතික අනන්‍යතාවය ඔප්පු කර පෙන්වීමයි.

මීට අමතරව නොයෙකුත් වැරදි අර්ථකථනයන් නිසා වර්තමානයේ ලොවෙන් සැඟව ගොස් ඇති, හෙළ තථාගතයන් වහන්සේලා දේශනා කළ වදාළ “පරම නිබ්බාන මග” නැවත ලොව ස්ථාපිත කිරීමත්, එම දහම තේරුම් ගැනීමට හැකි බුද්ධ කාලීන සමාජය, එනම් ස්වභාවය කේන්ද්‍ර කොටගත් ජීවන චින්තනය (Ecocentrism) නැවත මේ මහ පොළොවේ පැල කිරීමත් ය.

මෙම ක්‍රියාදාමයේ පළමු පියවර ලෙස,

  • ඉතිහාසය විකෘති කරන ලද බ්‍රිතාන්‍ය ජාතිකයින්ට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු පැවරීම. ඒ මගින් ඔවුන් කළ වරදට පොදු ලෝක ජනතාවගෙන් සමාව ගන්නා ලෙසත්, අපගේ ඉතිහාසය නිවැරදි කර ගැනීමට අපට අවශ්‍ය වන, යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයට ගෙන ගොස් ඔවුන් සන්තකයේ තවමත් තබාගෙන ඇති අපේ ඉතිහාස, තිපිටක ධම්ම සහ හෙළ අටුවා පොත් අපට නැවත ලබා දෙන ලෙසත් ඉල්ලමින් බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු පැවරීම අප විසින් සිදු කරන ලදි.
  • බ්‍රිතාන්‍ය පාලන සමය තුළ සිදු වූ මේ මහා අපරාධය තව දුරටත් පවත්වාගෙන යාම නවත්වන ලෙස UNESCO සංවිධානයට බල කිරීම.
  • බ්‍රිතාන්‍යය, ඉන්දියා, ශ්‍රී ලංකා රජයන්ට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට (UNHRC) නඩුකරයක් ගොනු කිරීම.
  • බ්‍රිතාන්‍ය පාලනය තුළ අප මවුබිමට සිදු වූ හානිය වෙනුවෙන් හානිපූර්ණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් නැවතත් බ්‍රිතාන්‍යයේ සහ ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ බ්‍රිතාන්‍යය රජයට විරුද්ධව නඩු පැවරීම.
  • දඹදිව සහ එහි වැඩ විසූ “ගොතම සමන” බුදු හිමියන්ගේ කාලය තෙක් ද, එතැන් සිට අද දක්වා ද ජන්බුද්දීපයේ සහ ජඹුදීපයේ (දඹදිව) ඉතිහාසයේ සත්‍ය කරුණු ලොවට සනාථ කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ඉතිහාස හා පුරාවිද්‍යා ගවේෂණයක් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, පැරණි සේද මාර්ගය (පැරණි බැක්ට්රියා රාජ්‍යය) ආවරණය වන පරිදි සිදු කිරීම.

මෙහි දෙවන පියවර ලෙස පහත සදහන් වැඩ පිළිවෙළද සැලසුම් කොට ඇත;

  • අද ලොවෙන් අතුරුදහන් වී ඇති තථාගත වචන වල නිවැරදි අර්ථය දැක්වෙන අර්ථ කෝෂයක් සිංහල, ඉංග්‍රීසි සහ තායි භාෂාවලින් ප්‍රකාශයට පත් කිරීම.
  • යටත් විජිත සමයේ අපේ හෙළ බිමෙන් යුරෝපයට ගෙන ගොස් දැනට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි රටවල ඇති අපේ පැරණි පුස්කොළ, තඹ, රිදී සහ රන්පත් පොත් (තිපිටක ධම්ම, හෙළ අටුවා, ඉතිහාස, වෙද සහ පෙරදිග විද්‍යා පොත්) වල ඩිජිටල් පිටපත් ලබාගෙන, ඒවා අවශ්‍ය සියලුම ගවේෂකයින්ට නොමිලයේ පරිශීලනය කිරීමට හැකි වෙන පරිදි, ඩිජිටල් පුස්තකාලයක් ස්ථාපිත කිරීම.
  • වසර 3000කට පමණ පෙර හෙළදිවේ හෙළ භාෂාවෙන් ග්‍රන්ථාරූඩ කරන ලද දැනට දිරාපත් වෙමින් තිබෙන ලොව පැරණිම තිපිටකය, සහ හෙළ අටුවා නැවත එංගලන්තයෙන් ලබාගෙන එය නිවැරදි අර්ථකතන සමග නැවත ප්‍රසිද්ධ කිරීම.
  • හෙළ ප්‍රාකෘත සහ ශුද්ධ මාගධී භාෂා නැවත ගවේෂණය කර ගොඩනගා, එම භාෂා අධ්‍යනය කිරීම සඳහා විශ්වවිද්‍යාල හෝ වෙනත් සුදුසු විද්‍යාපීඨයක් බිහි කිරීම.
  • මේ ජීවිත කාලය තුලදීම නිබ්බාන මග අවබෝධ කොට සසර ගමන නැවත්වීමට කැමති අයට නිබ්බාන මග පසක් කර දීම.